ඉතිහාසය

ශ්‍රී ලංකාවේ ගිණුම්කරණය සහ විගණනය පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුවේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කළ පර්යේෂණ වැඩ සටහනක් මගින් පෙන්වා දෙනු ලැබූ කරුණු මත පදනම්ව, 1987 වර්ෂයේදී ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ මූලිකත්වයෙන්, ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය පිහිටුවනු ලැබීය. 1982 අංක 17 දරණ සමාගම් පනත යටතේ එය ලියාපදිංචි කරන ලද අතර, 2007 අංක 7 දරණ නව සමාගම් පනත යටතේ සීමිත සහතික කළ සමාගමක් ලෙස නැවත ලියාපදිංචි කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ ගණකාධිකරණ අධ්‍යාපනය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සමාරම්භක මෙහෙවර මගින් 1986 දී පිළියෙළ කළ ප්‍රධාන සැලැස්මේ ශිල්පීය මට්ටමේ ගණකාධිකරණ සේවක මණ්ඩල අවශ්‍යතාවය අවධාරණය කර තිබුණේය

සංස්ථාපිත කරනු ලැබීමෙන් දැවුරුද්දකට පසු, එනම් 1989 දී ලොවපුරා වෘත්තීය ගණකාධිකාරීන්ගේ මුදුන්මල්කඩ සේ සැලකෙන ජාත්‍යන්තර ගණකාධිකාරීන්ගේ සම්මේලනයේ (IFAC) ආශ්‍රිත සාමාජිකත්වයද, විසිඅට අවුරුද්දකට පසු, 2017 දී එහි පූර්ණ සාමාජිකත්වයද ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය හිමිකර ගත්තේය. ආසියානු ශාන්තිකර කලාපයේ ගණකාධිකරණ ආයතන ජාලයේ පෙරමුණ ගත් ආසියානු හා ශාන්තිකර ගණකාධිකාරීන්ගේ සන්ධානයේ (CAPA) ප්‍රථම ආශ්‍රිත සාමාජිකයා වීම් විශිෂ්ටතාවද 1989 සැප්තැම්බර් සිට ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය සතු වූ අතර සංස්ථාපිත වීමෙන් වසර 26 කට පසු, එනම් 2015 දී එහි පූර්ණ සාමාජිකත්වයද හිමිකර ගත්තේය.

21 වෙනි ශතවර්ෂය සඳහා අවශ්‍ය වෘත්තීය දැනුම හා තාක්ෂණික පුහුණුව ලැබූ, ගණකාධිකරණ ශිල්පීන් ලෙස ඔවුන්ගේ අපේක්ෂිත කාර්යභාරයන් ඉටු කිරීමේ හැකියාව ලද වෘත්තීය සුදුසුකම් සපිරූ ගණකාධිකරණ ශිල්පීන් මේ රටේ බිහිකිරීම පසුගිය තිස් වසර පුරා ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය විසින් සිදුකර තිබේ. එහි තිස්තුන්වන වසරට පිවිසෙමින් තරඟකාරීවූද අතිශය ක්‍රියාශීලීවූද පරිසරයක බෙහෙවින් දුෂ්කර වූ ඉල්ලුම් රටාවකට මුහුණ දීමට ඒඒටී ආයතනය සූදානම් වෙමින් සිටී.

ජීවිතයේ සාර්ථකත්වය සඳහා අවශ්‍ය දැනුමෙන් හා කුසලතාවන්ගෙන් සන්නද්ධ කරමින් සාධාරණ මිලට අලෙවිකරණ දිශානුගත කුසලතා සහ පුහුණුව නව ප්‍රවේශයන්ට මෙන්ම ගණකාධිකරණ වෘත්තිකයන්ට ද සලස්වා දෙන ආයතනයක් ලෙස වර්ෂ ගණනක් තිස්සේ ක්‍රියාකාරීත්වය තුළින් ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය හඳුනාගැනීමට ලක්වී තිබේ. මේ වන විට ආයතනයේ ක්‍රියාකාරී ශිෂ්‍යයන් 30,000 ද, ලියාපදිංචි සිසුන් 350,000 ද (රට තුළ ඇති ඕනෑම අධ්‍යාපන ආයතනයක වැඩිම ලියාපදිංචි ශි‍ෂ්‍ය සංඛ්‍යාව ලෙස ගත හැකි ), අවසන් අදියර සමත්වූ සිසුන් 35,000 සහ ක්‍රියාකාරී සාමාජිකයන් 6000 ද බිහිකිරීමට ඒඒටී ශ්‍රී ලංකා ආයතනයට හැකි වී ඇත.

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය විසින් බිහිකරන ලද වෘත්තිකයන් ශ්‍රී ලංකාව තුළදී මෙන්ම විදේශයන්හිදී ද සුවිශේෂී දක්ෂතා පෙන්වා තිබීම ගැන ආයතනය සාඩම්බර වේ.

අනාගතයේදී කවර ක්ෂේත්‍රයක් තෝරාගනු ලැබූවද, එහි කාර්ය සාධනය මනා ලෙස ඉටු කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ හොඳම අධ්‍යාපනය, පුහුණුව හා තාක්ෂණික කුසලතා ශිෂ්‍යයන්ට සලසාදීම කෙරෙහි ආයතනය ඇප කැපවී සිටී. රටපුරා පිහිටුවා තිබෙන රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ආයතන/ සංවිධාන වල ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතන සාමාජිකයන් බොහෝදෙනෙක් දැනට රැකියාවල නිරතව සිටිති. ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ ක්‍රියාකාරිත්ව විෂය පථය අධ්‍යාපනයේ සිට තක්සේරුකරණය සහ වෘත්තීය සංවර්ධනය දක්වා වූ පරාසයක් පුරා පැතිර පවතී. ආයතනයේ ක්‍රියාකාරකම් හුදෙක් ශිෂ්‍යයන්ට අධ්‍යාපනය හා පුහුණුව ලබාදීමට පමණක් සීමා නොකොට, තරඟකාරී පරිසරයක් තුළ සාර්ථකත්වය ළඟාකර ගැනීමට අවශ්‍ය පරිගණක මෘදුකාංග කුසලතා සම්පාදනය කරලීම කෙරෙහිද යොමුවී ඇත. වෘත්තීය ප්‍රගමන මාර්ගෝපදේශ, රැකියා ස්ථානගත කිරීම් පිළිබඳ උපදෙස් හා මගපෙන්වීම් ශිෂ්‍යයන්ට සලසාදෙනු ලැබේ. මෙයට අමතර වශයෙන් සාමාජිකයන් සඳහා නූතන විෂයයන් පිළිබඳව සම්මන්ත්‍රණ සහ වැඩමුඵ ආයතනය විසින් සංවිධානය කරනු ලැබේ. මෙය වනාහී ඔවුනොවුන්ගේ සේවා ස්ථානවල බහුවිධ ඉල්ලීම් ජයකෙහෙළි නංවමින් ඉටුකළ හැකි, මැනවින් පරිපූර්ණව මධ්‍යම හා ඉහළ මට්ටම්වල ගණකාධිකරණ වෘත්තිකයන් බිහිකිරීම අරමුණු කරගත් සාකල්‍යවාදී ප්‍රවේශයකි.

එම්.ඒ.ඒ.ටී. (MAAT) ආශ්‍රිත සාමාජිකත්වය ලක් විගස ගණකාධිකරණ ශිල්පීන් මධ්‍යම මට්ටමේ වෘත්තීය ගණකාධිකාරීන් ලෙස පිළිගැනීමට ලක්වෙමින් තිබේ. තවද ගණකාධිකරණ ක්ෂේත්‍රයෙහි අත්දැකීම් හා පළපුරුද්ද ලබා ඔවුනට ජේෂ්ඨ ශිල්පීය මට්ටම (SAT) සහ අධි-සාමාජික ශිල්පීය මට්ටම (FMAAT) දක්වා සමීප විය හැකි අතර, එම ලක්ෂ්යයේදී ඔවුන් මනාපුහුණුව ලත් වෘත්තීය ගණකාධිකාරීන් ලෙස සලකනු ලැබේ. අනෙකුත් වෘත්තීය ගණකාධිකරණ ආයතනවලින් සුදුසුකම් දිනාගනිමින් කෙනෙකුට මෙම සුදුසුකමේ පිළිගැනීමට ලක්වීමට වැඩි වටිනාකමක් එකතු කළ හැකිය.

අතිශයින් ක්‍රියාශීලී වූ තරඟකාරී රැකියා වෙළඳපළක අවසාන විභාග සමත්වූවන්ගේ ද සාමාජිකයන්ගේද සේවායෝජනීය බව වැඩිකරලීම සඳහා ඔවුන්ගේ තාක්ෂණීය කළමනාකාරිත්ව හැකියා වර්ධනය මූලික අරමුණු කරගෙන ඒඒටී ව්‍යාපාරික පාසැල් අංශය පිහිටුවනු ලැබීය. ඒඒටී ව්‍යාපාරික පාසැල විධායක සංවර්ධනයේ සහ උසස් අධ්‍යාපනයේ විශිෂ්ටතා කේන්ද්‍රස්ථානය ලෙස සැලකේ. ගතවූ කාලය තුළ කළමනාකරණ තොරතුරු තාක්ෂණයේ සහ සන්නිවේදනයේ නිපුණතා සංවධනය කෙරෙහි සුවිශේෂී වශයෙන් කේන්ද්‍රගත්වූ අද්විතීය වැඩසටහන් ගණනක් සාර්ථක ලෙස ක්‍රියාවට නංවන ලද අතර, ගණකාධිකරණ ශිල්පීය ආයතන සාමාජිකයන් සහ අවසාන විභාග සමත්වූවන් සඳහා අධ්‍යාපන මාවතක් විවෘත කරනු ලැබීය.